ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" අ, ආ, ඇ, ඈ "

  • අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැහුවා වගෙයි.
    විපත සිදුවූ පසු ආරක්ෂාව තර කිරීම. / ආරක්ෂා කළ යුතු වටිනා දේ නැති වූ පසුව ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම.

  • අලියා ගිල්ල දිවුල වගෙයි.
    පිටතින් හොඳ බව පෙනුණත් ඇතුළත හිස්ය.

  • අලි යන කපොලු තිබියදී කූඹි යන හිල් වහනවා වගෙයි. / අලි යන කපොලු තිබියදී කූඹි යන තව් වහනවා වගෙයි.
    විශාල වැරදි තිබියදී සුළු වැරදි වැසීමට උත්සාහ කිරීම. / වැරදි කරන ලොකු පුද්ගලයන් සිටියදී සුළු වැරදි කරන පුද්ගලයන් ගැන කතා කිරීම.

  • අහසේ තරු ගණිනවා වගෙයි.
    කළ නොහැකි දෙයක් කිරීමට වෙර දැරීම.


  • අඟේ ඉඳන් කන කනවා වගෙයි.
    පසුව ආ දෙය අගේ කොට මුලින් ආ දෙයට හානි කිරීම. / ඉතාම විශ්වාසවන්ත ලෙස ළඟින්ම සිට හතුරුකම් කිරීම. / කෙනෙකුගෙන් උදවු ලබමින් ඔහුට විපත් සිදුකිරීම.

  • අකලට පල ගත් ගෙඩිය වගේ.
    යමක් නොකල්හි හෝ දුර්ලභ අවස්ථාවක හෝ සිදුවීම අරබයා යෙදෙන කියමනකි.

  • අග පැලිච්ච බටලීය වගේ.
    අග පැලුණු බටලීයෙන් නැගෙන්නේ අමිහිරි ශබ්දයකි. පමණට වඩා දොඩවන්නකු          හෝ වාචාලකම ඇත්තකු හෝ හැදින්වීමට යෙදේ.

  • අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හී ගඟේයා.
    යමක් පිළිබඳ නිසි අවබෝධය ලබා ගත හැක්කේ එය ක්‍රියාත්මක කිරීමෙනි.

  • අටුව කඩලා පුටුව හැදුවා වගෙයි.
    එක් වැදගත් දෙයක් තනා ගැනීමට තවත් එවැනිම වටිනා 
    දෙයක් නැති කරගැනීම.

  • අට්ටික්කා ගහේ මල් පිපුණා වගෙයි.
    සිදුවිය නොහැකි දෙයක් ගැන කියවෙන්නෙකි.

  • අඬුව තියෙද්දී අත පුච්චා ගත්තා වගෙයි.
    යමක් කිරීමට නිසි මඟක් තියෙද්දී අනවශ්‍ය ලෙස ක්‍රියා කොට විපත් පමුණුවා ගැනීම අඟවන්නකි.   

  • ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ.
    යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා කරන දෙය නිසියාකාරව සිදු නොවීම.

  • අළු ගොඩට පිම්බා වගේ.
    අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදෙයි.

  • අබ කෑ මිනිහගේ නහය දනවලු.
    වරදක් කළ අයෙක් හැසිරෙන ආකාරයෙන් ඔහු වරදක් කල බව පෙනෙන විට කියවේ.

  • අඬන්න ඕනලු කිරි එරෙන්න.
    යමක් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.

  • අබරා සිල් ගත්තා වගේ.
    තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ගොස් අමාරුවේ වැටුණු කෙනෙකු ගැන කීමේ දී යෙදේ.  

  • අනුන්ගෙ පහනෙන් එළිය බලනවා වගේ.
    තමා කිසිම වියදමක් නොකර අනුන්ගේ වියදමින් කටයුතු කර ගන්නා අවස්ථාවලදී යෙදේ.
    වෙනත් අයෙකු කරන දෙයකින් තමන් ද ප්‍රයෝජන ගැනීම.

  • අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.
    සිටින තරමට වඩා ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට ගොස් අවස්ථා දෙකම නැති වුණු විටදී යෙදේ.

  • අහසට ඉණිමං බඳිනවා වගේ.
    නිෂ්ඵල ක්‍රියාවක් හැඟවීමට යෙදේ.

  • අලි මදිවට හරක්.
    එක කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම.

  • අනින ගොනා වැඩට හොඳයි.
    සැර වැර තිබුණත් කාර්යය හොඳට තිබීම.

  • අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ.
    කාලයක් ගත වී ගියත් යළි යළිත් මතුවන ප්‍රශ්නයක් හැඟවීම. 

  • අවුරුදු කන්න ගිහින් බඩගින්නේ ආවා වගෙයි.
    නිසැකවම බලාපොරොත්තු වූ දෙයක් කඩවීම.

  • අඬන්න ඉන්නා විට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි.
    යමක් ඉටුකර ගැනිඉමට බලාපොරොත්තුව සිටින අයෙකුට එය ඉටුවන පරිදි පිටතින් උපකාර ලැබීම.

  • අන්දරේ සීනි කෑවා වගෙයි.
    වගකිව යුත්තන්ගේ අවදානය වෙනත් අතකට යොමුකර තමන්ගේ අදහස ඉටුකර ගැනීම. 

  • අතීසාරයට අමුඩ ගහන්නා සේ
    යම් ගැටලුවකදී කළ යුතු දේ වෙනුවට වෙනත් නිෂ්ඵල දේ කිරීම. 

  • අශ්වයාට අං ආවා වගෙයි.
    ආඩම්බර අයට තවත් ආඩම්බර වීමට කරුණු යෙදීම.

  • ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගෙයි.
    අවුලක් ලිහීම වෙනුවට එම අවුල උග්‍ර කිරීමට පියවර ගැනීම.

  • ඇඟෙන් ඇටයක් ගියා වගෙයි.
    තමන් සතු දෙයක් දැඩි අකැමැත්තෙන් අනුනට දීම.

  • ආප්ප පනමට ඉඩම දුන්නා වගෙයි.
    විශාල අලාභයක් සිදුවන ලෙස අනුවණ ගනුදෙනුවක නිරතවීම.

  • ආචාරියා රවටා කැත්ත හැදුවා වගෙයි.
    අනුන් රවටා වැඩ ගැනීමට ගොස් තමන්ම රැවටීමට ලක්වීම.

  • අතු කඩා මොර කන්නා සේ.
    යමකට හෝ යමෙකුට අවාසියක් වන ලෙස තම අවශ්‍යතාව ඉටුකර ගැනීම.

  • අඳු කොළ කැවිලා වගේ.
    නොගැළපෙන විකාර වැඩ කිරීම.

  • ආතාට අටුකොස් දුන්නා වගෙයි.
    යමෙකුට ප්‍රයෝජනයක් ගත නොහැකි දෙයක් දීම.

  • ආඳා මාළු ඉරටුවෙන් කනවා වගෙයි.
    අකැමැත්තෙන් මෙන් තම කාරිය ඉටුකරගැනීම.

  • අන්ධයා කිරිවල පාට කිවුවා වගෙයි.
    වැරදි ලෙස තේරුම් ගත් දෙයක් නිවැරදි යයි සිත ප්‍රකාශ කිරීම.

  • අනුන්ට කැපූ වළේ තමන්ම වැටීම.
    අනෙකෙකු විපතට පත් කිරීම සඳහා තමන් අටවන ලද උගුලකට තමන්ම හසුවී කරදරයට පත්වීම.

  • අපි කන හැටි ලිපා දනී.
    තමන් අගහිඟකම්වලින් පෙළෙන බව දැක්වීම.

  • අවි ගත්තෝ අවියෙන්ම නසිති.
    දරුණු ක්‍රියාවල යෙදුණු අය එයින්ම වැනසෙන බව.

  • ආරේ ගුණ නෑරේ.
    ජන්මයෙන් එන පුරුද්ද අත් නොහැරිය හැකි බව.

  • ඇම ගිල්ල මාළුවා වගෙයි.
    ගැලවිය නොහැකි ලෙස ප්‍රශ්නයකට කොටු වී සිටීම.

  • ඇවිළෙන ගින්නට පිදුරු දැමීම.
    ආරවුල් හෝ අවුලක් ඇති තැනකට තවත් ආරවුල් ඇති කිරීමට කටයුතු කිරීම.

  • අටුව කඩා පුටුව හැදුවා වගේ.
    වටිනා දෙයක් විනාශ කර නොවටිනා දෙයක් කිරීම.

  • ඇද මිනිහාගේ සෙවනැල්ලත් ඇදයි.
    යමක අඩුපාඩු ඇත්නම් සෑම අවස්ථාවකම එය පෙනෙන බව.

  • ඇට නැති දිවෙන් මොනවා කියන්නට බැරිද?
    පාලනයකින් තොරව නොහික්මුණු ලෙස වචන පාවිච්චි කිරීම.

  • අටුවෙන් දුමට බැස්සා වගේ.
    තිබුණු කරදරයට වඩා, වැඩි කරදරයකට පත්වීම.

  • අඳුනන බල්ල බිරුව වගේ.
    බිය නොවිය යුතු තර්ජනයක්.

  • අඩියෙන් අඩියට ගම පැත්තටලු.
    හැම දෙයක්ම තමන්ගේ වාසියට.

  • ඇස් අරහන්නට තොල සඳුන් ගානා සේ.
    අවශ්‍යතාවය තිබිය දී වෙනත් දෙයක් කිරීම.

  • අල්ලට බත් දුන්නා වගේ.
    නොදී බැරිකමට කරන පරිත්‍යාගය.

  • ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ.
    නිවැරදි කළ නොහැකි වරදකට අසුවූ අයෙක් පිළිබඳව කීමට යොදාගනී.

  • ඇමක් දී මාළුවකු අල්ලා ගන්නවා වගෙයි.
    සුළු දෙයක් දී ලොකු අය රවටා ගැනීම.










1 comment:

  1. Anonymous3:45 AM

    Niyamayi🖥️🖥️🖥️

    ReplyDelete