ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" න, ප, බ "

  • නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවත් රැවුල පෑවා වගෙයි./නිවටයාට එළුවත් රැවුළ පානවලු.
    අහිංසකයන්ට සෑම කෙනෙකුගෙන්ම කරදර සිදුවන බව.
  • නරියා මිදි ඇඹුල් කීවා වගෙයි.
    ලබාගත නොහැකි දෙයකට ගැරහීම.

  • නම කපුරුහාමි වුණාට කටේ ගඳ හත් ගව්වකට දැනෙනවාලු.
    නමින් නොව ක්‍රියාවෙන් මිනිසකු පිළිබඳව තීරණය කළ යුතු බව.

  • නයා ගුරුලගෙන් සැප සනීප ඇහැව්වලු.
    ප්‍රබලයන් සමඟ සිටින දුර්වල පුද්ගලයන් ප්‍රබලයන් ඇසුරෙන් ඔද වැඩී ඒ බලය පෙන්වීම.

  • නයාට අඳු කොළ වගේ.
    දැකීමට කිසිම කැමැත්තක් නොතිබීම.

  • නාහෙට උඩින් අඟලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි.
    සීමාව ඉක්මවා කරදර තියෙද්දී තව කරදර එක්වුණාට වෙනසක් දැනෙන්නේ නැහැ.

  • නිදන් ඉන්න කොටි අවුස්සනවා.
    නැති කරදර සොයා යනවා.


  • පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
    යමක් කිරීමට පහසු මඟක් තිබියදී එය අපහසුවෙන් කිරීම.

  • පිස්සිගෙ පලා මල්ල වගෙයි.
    යමක් ඉතා අවුල් සහගත ලෙස තිබීම.

  • පනින රිළවුන්ට ඉනිමං තැබුවා වගෙයි.
    වැරදි කරන අයට වැරදි කිරීමට පහසුවන අන්දමින් කටයුතු කිරීම.

  • පුස්ස බින්දා වගෙයි.
    කරන ලද දෙයින් කිසිම ප්‍රයෝජනයක් නොලැබීම.

  • පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගෙයි.
    යමකින් තමන් ප්‍රයෝජනයක් නොගෙන අනුන්ටත් ප්‍රයෝජනයක් ගැනීමට ඉඩ නොදීම.

  • පල නොකියා පලා බෙදුවා වගෙයි.
    අප්‍රසාදය කටින් නොකියා ක්‍රියාවෙන් පෙන්වීම.

  • පියා දරුවන්ට කෝටු මිටිය කඩන්න දුන්නා වගෙයි.
    සමගිව සිටිනතාක් විපතක් කිරීමට නොහැකි බව.

  • පැණි වරකා ගහටත් හෙණ වදිනවලු.
    බලසම්පන්න අයට වුවත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව.





  • බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගෙයි.
    යමකින් ප්‍රයෝජනයක් ගත නොහැකි කෙනෙකුට එය තෑගි දීම.

  • බීරාගෙන් පාර ඇහුවා වගෙයි.
    විසඳුමක් ලබාදිය නොහැකි අයකු වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම.

  • බල්ලාගේ වැඩේ බූරුවා බාරගත්තා වගෙයි.
    තමාට අයිති නැති රාජකාරියක් කිරීමට ගොස් අමාරුවේ වැටීම.

  • බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
    තමන් ප්‍රයෝජනයට ගන්නෙත් නැහැ. අනුන්ට ප්‍රයෝජන ගන්න දෙන්නෙත් නැහැ.

  • බණ බැරි වුණාට ගම තොටගමුවලු.
    යමක් කරන්නට හැකියාව නොතිබුණාට, බොරු පුරාජේරුව පෙන්වීම.

  • බල්ලට කිව්වහම බලු නකුටට (වලිගෙට) කියනවා වගේ.
    කෙනෙකුට යම් කාර්යයක් පැවරූ විට, එය අන් අයට පැවරීම.

  • බත් ඇති තැනටමලු කොස්.
    බොහෝ දෑ  ඇති තැනටම වාසි සැලසීම.

  • බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ.
    තම වාසිය සලසා ගැනීම සඳහා තවත් අයකු අවදානමකට පත් කිරීම. 

  • බැඳලා ගැහැව්වත් එකයි, ගහල බැන්දත් එකයි.
    කුමන ආකාරයට කළත් ප්‍රතිඵලය එකක්විම.

  • බීරි අලියාට වීනා වාදනය කරනවා වගේ.
    අවවාද, අනුශාසනා කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන බව.

  • බුරන බල්ලා හපා නොකයි.
    ශබ්දය තරමට ක්‍රියාව සිදු නොවීම.

  • බැද්දට පායපු හඳ වගෙයි.
    වටින දෙයකින් කිසිවකුට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වීම.




No comments:

Post a Comment