ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ "

  • ඉඟුරු දී මිරිස් ගත්තා වගෙයි.
    කරදරයකින් තවත් කරදරයකට වැටීම. /කරදරයකින් සහනයක් ලබා ගන්ට සිතා ඊටත් වඩා කරදරයක් ඇති කර ගැනීම.
  • ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගෙයි.
    ඉටුකර ගත නොහැකි කාර්යයක් සඳහා උත්සාහ දැරීම. (මසුරු පුද්ගලයකුගෙන් උදව්වක් /යම් දෙයක් ඉල්ලීම.)

  • ඉසේ ඇම්මට කොට්ටේ මාරු කළා වගෙයි.
    යම් ගැටලුවක් විසදීමට ඊට නුසුදුසු පිළියමක් යෙදීම.

  • ඉබ්බා දියේ දැම්මා වගෙයි.
    තමාගේ ආශාව පරිදි කටයුතු කිරීමට හදිසියේ අවස්ථාව ලැබීම.

  • ඉස්සර ආ කනට වඩා පස්සෙ ආ අඟ ලොකුවුණා වගෙයි.
    පළමුව සිටි හිතවතුන් ඈත්කර පසුව හිතවත් වූ අය ඇසුරු කිරීම.

  • ඉබ්බා අහසින් ගියා වගෙයි.
    තමන්ට නොගැළපෙන දෙයක් කිරීමට ගොස් විපතට පත්වීම.


  • උරුලෑව ගිය පාර වගෙයි.
    ගිය ගිය තැන අප්‍රසන්න හැසිරීම් රටාවලින් යුක්තවීම.

  • උණකාරයා වතුර ඉල්ලනවා වගෙයි.
    යමෙක් නිතර නිතර කරදර කිරීම.

  • උපාසක බළල්ලුත් මීයෝ අල්ලනවලු.
    යහපත් පුද්ගලයින් මෙන් පෙනී සිටින අය ද වැරදි කරන බව.

  • උඩ බලලා කෙළ ගැහැව්වා වගේ.
    තමන්ට ලජ්ජා, අපහාස සිදුවන අන්දමට තමාම වැඩ කිරීම.

  • එළිපත්ත උඩ සිටින බළලා වගෙයි.
    ස්ථිර තීරණයක් නොගෙන සිටීම.


  • ඔරුව පෙරළෙද්දී තම්බි දුම් කුඩු ඉරුවා වගෙයි.
    විපතේදී වුවද පුරුද්ද අත්හැරිය නොහැක. 




No comments:

Post a Comment