ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" ව, ස, හ "

  • වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටුණා වගෙයි.
    යහපත් වැඩක් / උදව්වක් කරන්නට ගොස් එයින් තමන්ට නැති කරදර සිදුවීම.

  • වක්කඩ කැඩුවා වගේ.
    පාලනයකින් තොරව වාචාල ලෙස කතා කිරීම.

  • වඩා ගත්තාට බෙල්ල මිරිකුවා වගෙයි.
    උපකාරයක් කළ තැනැත්තාට අපකාරයක් /කරදරයක් කිරීම.

  • වැටෙන්න යනකොට කටු අත්තක් අල්ලා ගත්තා වගෙයි.
    එක කරදරයකින් මිදෙන්නට උත්සාහ කරන විට තවත් කරදරයකට පත්වීම.

  • වක්කඩේ හකුරු හැංගුවා වගෙයි.
    නිෂ්ඵල වැඩක යෙදීම. / විනාශවන තැනක යමක් ආරක්ෂාවට තැබීම.
  • වඩුවගේ ගෙදර පුටුවක් නැතුවා වගෙයි.
    තමන්ට කරගත හැකි දේ තමා කර නොගෙන අනුන්ට කර දීම.

  • වැටක් නැති වත්තට හරක් එනවා වගෙයි.
    ආරක්ෂාව නොමැති කල පාඩු සිදුවේ.

  • වැස්සට කරෝල වේලුවා වගෙයි.
    අවස්ථාවට නොගැළපෙන දෙයක් කිරීම.

  • වංසේ කබල් ගෑවා වගෙයි.
    කිසිම හැකියාවක් නැති අයෙකු තමාගේ පරම්පරාවේ නම්බුව ගැන කතා කිරීම.

  • සල්ලි දෙයියන්ගෙ මල්ලිලු.
        මුදල්වලට ඕනෑම දෙයක් කල හැකි බව. (මුදල් දෙවියන් සේ බලවත් බව)

  • සාත්තුව සින්න වුණා වගේ.
        යමෙකුට උදව්වක් කල පසු, එය යුතුකමක් සේ සලකා නැවත නැවත කරවා ගන්නට බල                 කරන විට පැවසේ.

  • සාස්තරේ විතරක් මදි සූස්තරෙත් ඕනලු.
        ශිල්ප පමණක් නොව එය නිවැරදිව භාවිතා කිරීමට හැකියාවත් අවශ්‍ය වන බව.

  • සිත ඇත්නම් පත කුඩාද?
        සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.

  • සුප් එකට කෝකි වැඩිවුණා වගේ.
        දන්නා පිරිස වැඩිවූ විට කරන කාර්යය නිසි ලෙස කරගැනීමට නොහැකි වේ.

  • සෙක්කුවේ බැන්ද හරකා වගේ.
        විවේකයක් නොගෙන එකදිගටම වැඩ කිරීම./ එකම රටාවකට ජිවත්වන පුද්ගලයා.



  • හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගෙයි.
    වැරදි වසන් කරන අයගෙන්ම වැරැද්දක් ගැන ඇසීම.

  • හිල් කූඩෙන් වතුර අදිනවා වගෙයි.
    ප්‍රයෝජනයක් නොමැති දෙයකට මහන්සිවීම.
  • හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැහුවා වගෙයි.
    දුකට පත් අය තවත් දුකට පත්වීම.

  • හතර බීරි කතාව වගෙයි.
    යම් කිසි සිදුවීමක් ගැන ඊට අදාළ අය කරන ප්‍රකාශන එකිනෙකට සම්බන්ධ නැතිවීම.

1 comment:

  1. It was a very useful website for many students for Sinhala subject. I am glad to find this website very usable to make my book. Do make some more of these websites and keep adding new staff. Thank you,carry on your great work.

    ReplyDelete