ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

" ක, ග, ච, ජ "

  • කල දුටු කල වල ඉහගන්නා සේ
    අවස්ථාවල් ලද විට ඉන් උපරිම ලෙස ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීම.

  • කපන්න බැරි අත සිඹින්නා සේ
    යමෙකුගෙන් පළි ගැනීමට හෝ තමාට යමක් කර ගැනීමට නොහැකි වූ තැන බොරුවට හිතවත් කම් පෙන්වීම.

  • කොකාට වාරයක් ආවම තිත්තයාටත් වාරයක් එනවාලු
    සමාජයේ ප්‍රබල පුද්ගලයින්ට වගේම දුර්වල අයටත් අවස්ථාවක් උදාවන බව.

  • කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි.
    වැරදි විනිශ්චය නිසා අහිංසකයකු දඬුවම් ලැබීම.

  • කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි.
    ළඟ දී යම්කිසි වස්තුවක් ලැබී ඉතා ආඩම්බර වීම. /නුසුදුස්සාට තනතුරු (වරප්‍රසාද) ලබාදීමෙන් අහංකාර වීම.

  • කළුවා මාරපන ගියා වගෙයි.
    කියන ලද දෙය තේරුම් නොගෙන කිසිවකුටත් ප්‍රයෝජනයක් නැති වැඩක් කිරීම.

  •  කිරි කළයට ගොම මුසු කළා වගෙයි.
    යහපත් වැඩ රාශියක් කර අවසානයේ අයහපත් වැඩක් කිරීම.

  • කුඩම්මා ඇවිත් කැවුම් පුංචි කළා වගෙයි. / පුංචි අම්මා ඇවිත් කැවුම් පුංචි කළා වගෙයි.
    විශාල බලාපොරොත්තුවක් තැබූ කෙනෙකුගෙන් ඒ බලාපොරොත්තුව ඉටු නොවීම. 
    ප්‍රසන්න පුද්ගලයකුගෙන් අප්‍රසන්න ක්‍රියාවක් සිදුවීම.

  • කොකා දිය හිඳෙන තුරු බලා සිටියා වගෙයි.
    යම් දෙයක් ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට සිදුවීම.

  • කුරුල්ලන්ට වැට බැන්දා වගෙයි.
    අසාර්ථක කාර්යයක නිරතවීම.

  • කිඹුලා කිරි මැටි ගිලිනවා වගෙයි.
    රසයක් ගුණයක් ගැන නොසිතා ආහාර විශාල ප්‍රමාණයක් ගිල දැමීම.

  • කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි.
    ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි දෙයක් වීම.

  • කන්ද පහුවුණාම හැරමිටිය විසිකරනවා වගෙයි.
    තමන්ගේ කාර්යය කරගත් පසු ඒ සඳහා උපකාර කළ අය නොසලකා හැරීම.

  • කපන්න බැරි අත සිඹිනවා වගෙයි. / කපන්ට බැරි අත ඉඹිනවලු.
    විරුද්ධවාදියගෙන් පළිගැනීමට නොහැකි විට ඔහු පිළිබඳව මිත්‍ර ලීලාවෙන් කතා කිරීම.

  • කම්මලේ ඉන්න බල්ලා වගෙයි.
    යමකට පුරුදු වූ විට එහි අපහසුතාවක් නොදැනීම.

  • කුරුල්ලා මිටෙන් ඇරියා වගෙයි.
    තම අභිමතය පරිදි නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබීම.

  • කිතුල් ගහට ගිය මිනිහා වගෙයි.
    කපටියාට ඕනෑම වරදක් කර නිදහසට කීමට කරුණු ඇත.

  • කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි.
    අනවශ්‍ය දේ කිරීමට ගොස් කරදරේ වැටීම.

  • කොටි වලිගය අල්ලා ගත්තා වගෙයි.
    පටන් ගත් දෙය ඉවර කර ගැනීමටත් අත් හැරීමටත් නොහැකි වීම.

  • කොටියාට හරක් පට්ටිය බාර දුන්නා වගෙයි.
    හොරෙකුට යමක් ආරක්ෂා කිරීමට භාරදීම.

  • කුස රජ්ජුරුවොත් මසුන් කද ඇද්දලු.
    උතුමන්ට පවා පහත් වැඩ කිරීමට සිදුවේ.

  • කුඩු කෑ විත්තිය වගෙයි.
    නින්දා කටයුතු ක්‍රියාවක් හෙළිවීමට බියවීම.

  • කළ හොඳ පස්සෙන් එනවා වගෙයි.
    උදවු කළ අයගෙන් විපත් සිදුවීම.

  • කබලෙන් ළිපට වැටුණා වගෙයි.
    කරදර විඳිමින් සිටි කෙනෙකුට ඊට වඩා විශාල කරදරයක් සිදුවීම.

  • කකුළුවා තම පැටවුන්ට කෙළින් යන්න ඉගැන්නුවා වගෙයි.
    තමා වැරදි කරමින් එසේ නොකරන ලෙස අවවාද කිරීම.




  • ගොනයි මීමයි වගේ.
    යම්කිසි දේවල් දෙකක් හෝ දෙදෙනෙක් කිසිසේත්ම නොගැළපෙන බව.

  • ගමරාල සිල්ගත්තා වගෙයි.
    නොදන්නා දෙයක් කිරීමට ගොස් මෝඩකම නිසා අපහසුවට පත්වීම.

  • ගමරාලගේ වංගෙඩිය වගෙයි.
    එක ම දේ කිහිප ආකාරයකට ප්‍රයෝජනයට ගැනීම. / විවිධ වැඩ කිහිපයක් සඳහා එකම දෙය (උපකරණය) යොදා ගැනීම.
  • ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරිලු
    යමෙකු අතින් වරදක් සිදු වූ පසු නැවත එය නිවැරදි කිරීමට නොහැකි වීම.

  • ගඟට ඉනි කැපුවා වගෙයි.
    මහන්සිවී කරන වැඩ වලින් අවසානයේ කිසිම ප්‍රයෝජනයක් නොලැබීම හෝ ප්‍රයෝජනයක් ලැබිය නොහැකි ලෙස මෝඩ ක්‍රියාවක් කිරීම.

  • ගහපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ
    යම්කිසි කාර්යයක් කිසිදු ප්‍රතිඵලයක් නොලබා පාඩු සිදු වීම.
  • ගුරුන්ටත් අකුරු වරදිනවා වගෙයි.
    යමක් හොඳින් දන්නා අය අතිනුත් වැරදි සිදුවන බව.

  • ගඟෙන් වතුර බී මුහුදට ආ වඩනවා වගෙයි.
    උපකාර ලබා ගත් තැනැත්තා සිහිපත් නොකොට අන් අයව පැසසීම.

  • ගලේ කෙටූ අකුරු වගෙයි.
    මොනයම් හේතුවක් නිසා හෝ කි දෙය වෙනස් නොකිරීම.

  • ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි.
    කරදරයක් වූ අයෙකුට ඒ පිටම තවත් කරදරයක් සිදුවීම.

  • ගිරයට හසුවූ පුවක් ගෙඩිය වගෙයි.
    දෙපැත්තකින් තැළෙන ගැළවෙන්නට අපහසු කරදරයකට පත්වීම.

  • ගෙම්බා බඩ පිම්බුවා වගෙයි.
    පුහු ආඩම්බරය නිසා විනාශයට පත්වීම.

  • ගෝනි නැතුව කරේ යන්න හදනවා වගෙයි.
    දෙන ලද සහනයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කිරීම.





  • ජාඩියට මූඩිය වගෙයි.
    හරියටම ගැළපෙන බව / හොඳින්ම ගැළපෙන බව.








No comments:

Post a Comment