ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Wednesday

වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගෙයි.
යහපත් වැඩක් කිරීමට ගොස් ඉන් තමාට නොසිතූ කරදරයක් වීම.

අබ කෑ මිනිහගේ නහය දනවලු.
වරදක් කළ අයෙක් වරදක් කළ ආකාරයට හැසිරෙද්දී ඒ බව තේරෙන විට කියවේ.

අනුන්ගෙ පහනෙන් එළිය බලනවා වගේ.
තමා කිසිම වියදමක් නොකර අනුන්ගේ වියදමින් කටයුතු කර ගන්නා අවස්ථාවලදී යෙදේ.

අඬන්න ඕනලු කිරි එරෙන්න.
යමක් ලබා ගැනීමට කිසියම් උත්සාහයක් යෙදිය යුතු ය.

අබරා සිල් ගත්තා වගේ.
තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ගොස් අමාරුවේ වැටුණු කෙනෙකු ගැන කීමේ දී යෙදේ.

අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.
සිටින තරමට වඩා ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට ගොස් අවස්ථා දෙකම නැති වුණු විටදී යෙදේ.

අහසට ඉණිමං බඳිනවා වගේ.
නිෂ්ඵල ක්‍රියාවක් හැඟවීමට යෙදේ.

අඬුව තියෙද්දි අත පුච්ච ගන්නවා වගේ.
පහසු ක්‍රම තිබිය දී අපහසු ක්‍රම භාවිතා කර කරදරයට පත්වීම.

අලි මදිවට හරක්.
එක කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම.

අනින ගොනා වැඩට හොඳයි.
සැර වැර තිබුණත් කාර්යය හොඳට තිබීම.

අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ.
කාලයක් ගත වී ගියත් යළි යළිත් මතුවන ප්‍රශ්නයක් හැඟවීම.
මහදැනමුත්තයි ගෝලයොයි වගෙයි.
මෝඩ ප්‍රධානියෙකු හා මෝඩ ගෝලයින්ගේ ක්‍රියා කලාපය අන් අයට තේරුම් යෑම.

අළු ගොඩට පිම්බා වගේ.
අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදේ.

ගමරාල සිල්ගත්තා වගෙයි.
නොදන්නා දෙයක් කිරීමට ගොස් මෝඩකම නිසා අපහසුවට පත්වීම.

ගමරාලගේ වංගෙඩිය වගෙයි.
එක ම දේ කිහිප ආකාරයකට ප්‍රයෝජනයට ගැනීම.

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි.
වැරදි විනිශ්චය නිසා අහිංසකයකු දඬුවම් ලැබීම.

නරියා පඹගාලෙ පැටලුණා වගෙයි.
යම් දෙයක් කිරීමට ගොස් එය ඉතා අවුල් කරගැනීම.

බණ්ඩා කොළඹ ගියා වගෙයි.
නවීන තාලයට හුරු නොවූ කෙනෙකුගේ ක්‍රියාකලාපය අන් අයගේ හාස්‍යයට ලක්වීම.

හොරාගෙ අම්මාගෙන් පේන ඇහුවා වගෙයි.
වැරදි වසන් කරන අයගෙන් ම වැරදි ගැන ඇසීම.

ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි.
යම් කෙනෙකු තමාගේ තරාතිරමට නොගැළපෙන පහත් වැඩ කිරීම.

හතර බීරි කතාව වගෙයි.
යම්කිසි සිදුවීමක් ගැන ඊට අදාළ පුද්ගලයන්ගේ ප්‍රකාශ එකිනෙකට නොගැළපීම.

වංශෙ කබල්ගෑවා වගෙයි.
යම්කිසි තැනැත්තෙකුගේ කුලය ගෝත්‍රය ගැන පමණක් සොයා කටයුතු කිරීම.

Monday

රයිගමයයි ගම්පලයයි වගේ.
නූගත් දෙදෙනෙකුගේ / කපටි දෙදෙනෙකුගේ දැඩි මිතුරුකමක් ගැන කීමේ දී යෙදේ.

බල්ලාගේ වැඩය බූරුවා බාර ගත්තා වගෙයි.
තමාට අයත් නැති වැඩ කිරීමට ගොස් අමාරුවේ වැටේ.

පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
පහසු මගක් තිබිය දී අපහසු ලෙස කිරීම.

ඉබ්බා දියේ දැම්මා වගේ.
තමාගේ ආශාව පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලැබීම.

අටුව කඩා පුටුව හැදුවා වගෙයි.
වඩා ප්‍රයෝජනවත් දෙයක් විනාශකර ඊට අඩුවෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කිරීම.

ගඟට ඉනි කැපුවා වගෙයි.
මහන්සි වී කරන ලද වැඩවලින් අවසානයේ කිසි ම ප්‍රයෝජනයක් නොලැබීම.

ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි.
යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා ඒ දෙය හරි හැටි සිදු නොවීම.

පුහුල් හොරා කරෙන් දැනේ.
යමෙකුගේ හැසිරීමෙන් ඔහු වැරදිකරු ද, නිවැරදිකරු ද කියා දැනගත හැකිය.

කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි.
ළඟ දී යම්කිසි වස්තුවක් ලැබී ඉතා ආඩම්බර වීම.

කළුවා මාරපන ගියා වගෙයි.
කියන ලද දෙය තේරුම් නොගෙන කිසිවකුටත් ප්‍රයෝජනයක් නැති වැඩක් කිරීම.