ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Wednesday

  • බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
    තමන් ප්‍රයෝජනයට ගන්නෙත් නැහැ. අනුන්ට ප්‍රයෝජන ගන්න දෙන්නෙත් නැහැ.

  • බණ බැරි වුණාට ගම තොටගමුවලු.
    යමක් කරන්නට හැකියාව නොතිබුණාට, බොරු පුරාජේරුව පෙන්වීම.

  • බල්ලන්ට ලෙලි පොල් දුන්න වගේ.
    කිසිදු ප්‍රයෝජනයකට නැති පරිත්‍යාගයක්.

  • බල්ලගේ වැඩේ බූරුවා කළා වගේ.
    තමාට අයිති නැති රාජකාරියක් කිරීමට ගොස් අමාරුවේ වැටීම.

  • බල්ලට කිව්වහම බලු නකුටට (වලිගෙට) කියනවා වගේ.
    කෙනෙකුට යම් කාර්යයක් පැවරූ විට, එය අන් අයට පැවරීම.

  • බත් ඇති තැනටමලු කොස්.
    බොහෝ දෑ  ඇති තැනටම වාසි සැලසීම.

  • බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ.
    තම වාසිය සලසා ගැනීම සඳහා තවත් අයකු අවදානමකට පත් කිරීම. 

  • බැඳලා ගැහැව්වත් එකයි, ගහල බැන්දත් එකයි.
    කුමන ආකාරයට කළත් ප්‍රතිඵලය එකක්විම.

  • බීරි අලියාට වීනා වාදනය කරනවා වගේ.
    අවවාද, අනුශාසනා කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන බව.

  • බුරන බල්ලා හපා නොකයි.
    ශබ්දය තරමට ක්‍රියාව සිදු නොවීම.

No comments:

Post a Comment