ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Wednesday

නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා වගේ.

     එක් ගමක කම්මල්කරුවෙක් වාසය කළේය. තම මහලු දෙමාපියන් රැක බලා ගත්තේද ඔහුය. දිනක් දෙමළ මිනිසෙකු තුවක්කුවක් ද රැගෙන කම්මලට ආවේය. තුවක්කුව තුල උණ්ඩයක් සිර වී ඇතිබවත් එය ඉවත්කර දෙන ලෙසත් ඔහු දෙමළ බසින් කම්මල්කරුට පැවසීය. දෙමළ මිනිසා සිංහල නොදැන සිටි අතර කම්මල්කරු ද දෙමළ නොදත්තේය. නමුත් තමන් දෙමළ නොදන්නා බව කීමට ඔහු අකමැති විය.

     තුවක්කුව අතට ගත් කම්මල්කරු එහි බටය තමා පැත්තට හරවාගෙන තුවක්කුව ගිනි ගොඩට අල්ලා රත් කරන්න විය. ඒ දුටු දෙමළ මිනිසා, එසේ නොකරන ලෙසත් උණ්ඩය පුපුරා යාහැකි බවත් පවසමින් දෙමළෙන් කෑ ගසන්න විය. තමාට එය තේරුණ බව ඇගවූ කම්මල්කරු තව තවත් තුවක්කුව රත්කරන්න විය. එක්වරම ඒ තුල සිරවී තිබූ උණ්ඩය පුපුරා වෙඩිල්ල කම්මල්කරුගේ පපුවටම වැදී ඔහු මිය ගියේය.

     කම්මල්කරු මිය යාම නිසා මහලු දෙමාපියන් රැක බලා ගැනීමටද කෙනෙක් නැති විය.  නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා යැයි පවසමින් මහලු දෙමාපියන් දුක් විය.

යමක් පිළිබද නිසි අවබෝධයක් නොමැතිව ඒ බව දන්නා සේ පෙන්වා කටයුතු කර පසුව අමාරුවේ වැටුණු විට "නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගත්තා වගේ" යන ප්‍රස්ථාව පිරුල භාවිතා වේ. 

5 comments: