ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.

Sunday

ඉබ්බා දියේ දැම්මා වගෙයි.
තමාගේ ආශාව පරිදි කටයුතු කිරිමට හදිසියේ අවස්ථාව ලැබීම.

අවුරුදු කන්න ගිහින් බඩගින්නේ ආවා වගෙයි.
නිසැකවම බලාපොරොත්තු වූ දෙයක් කඩවීම.

අහසට ඉණිමං බඳිනවා වගෙයි.
යමෙක් නිෂ්ඵල කටයුත්තක නිරතවීම.

අඬන්න ඉන්නා විට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි.
යමක් ඉටුකර ගැනිඉමට බලාපොරොත්තුව සිටින අයෙකුට එය ඉටුවන පරිදි පිටතින් උපකාර ලැබීම.

අන්දරේ සීනි කෑවා වගෙයි.
වගකිව යුත්තන්ගේ අවදානය වෙනත් අතකට යොමුකර තමන්ගේ අදහස ඉටුකර ගැනීම.

Wednesday

වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගෙයි.
යහපත් වැඩක් කිරීමට ගොස් ඉන් තමාට නොසිතූ කරදරයක් වීම.

අබ කෑ මිනිහගේ නහය දනවලු.
වරදක් කළ අයෙක් වරදක් කළ ආකාරයට හැසිරෙද්දී ඒ බව තේරෙන විට කියවේ.

අනුන්ගෙ පහනෙන් එළිය බලනවා වගේ.
තමා කිසිම වියදමක් නොකර අනුන්ගේ වියදමින් කටයුතු කර ගන්නා අවස්ථාවලදී යෙදේ.

අඬන්න ඕනලු කිරි එරෙන්න.
යමක් ලබා ගැනීමට කිසියම් උත්සාහයක් යෙදිය යුතු ය.

අබරා සිල් ගත්තා වගේ.
තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ගොස් අමාරුවේ වැටුණු කෙනෙකු ගැන කීමේ දී යෙදේ.

අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ.
සිටින තරමට වඩා ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට ගොස් අවස්ථා දෙකම නැති වුණු විටදී යෙදේ.

අහසට ඉණිමං බඳිනවා වගේ.
නිෂ්ඵල ක්‍රියාවක් හැඟවීමට යෙදේ.

අඬුව තියෙද්දි අත පුච්ච ගන්නවා වගේ.
පහසු ක්‍රම තිබිය දී අපහසු ක්‍රම භාවිතා කර කරදරයට පත්වීම.

අලි මදිවට හරක්.
එක කරදරයක් මදිවට තවත් කරදරයක් පැමිණීම.

අනින ගොනා වැඩට හොඳයි.
සැර වැර තිබුණත් කාර්යය හොඳට තිබීම.

අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ.
කාලයක් ගත වී ගියත් යළි යළිත් මතුවන ප්‍රශ්නයක් හැඟවීම.
මහදැනමුත්තයි ගෝලයොයි වගෙයි.
මෝඩ ප්‍රධානියෙකු හා මෝඩ ගෝලයින්ගේ ක්‍රියා කලාපය අන් අයට තේරුම් යෑම.

අළු ගොඩට පිම්බා වගේ.
අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදේ.

ගමරාල සිල්ගත්තා වගෙයි.
නොදන්නා දෙයක් කිරීමට ගොස් මෝඩකම නිසා අපහසුවට පත්වීම.

ගමරාලගේ වංගෙඩිය වගෙයි.
එක ම දේ කිහිප ආකාරයකට ප්‍රයෝජනයට ගැනීම.

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි.
වැරදි විනිශ්චය නිසා අහිංසකයකු දඬුවම් ලැබීම.

නරියා පඹගාලෙ පැටලුණා වගෙයි.
යම් දෙයක් කිරීමට ගොස් එය ඉතා අවුල් කරගැනීම.

බණ්ඩා කොළඹ ගියා වගෙයි.
නවීන තාලයට හුරු නොවූ කෙනෙකුගේ ක්‍රියාකලාපය අන් අයගේ හාස්‍යයට ලක්වීම.

හොරාගෙ අම්මාගෙන් පේන ඇහුවා වගෙයි.
වැරදි වසන් කරන අයගෙන් ම වැරදි ගැන ඇසීම.

ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි.
යම් කෙනෙකු තමාගේ තරාතිරමට නොගැළපෙන පහත් වැඩ කිරීම.

හතර බීරි කතාව වගෙයි.
යම්කිසි සිදුවීමක් ගැන ඊට අදාළ පුද්ගලයන්ගේ ප්‍රකාශ එකිනෙකට නොගැළපීම.

වංශෙ කබල්ගෑවා වගෙයි.
යම්කිසි තැනැත්තෙකුගේ කුලය ගෝත්‍රය ගැන පමණක් සොයා කටයුතු කිරීම.

Monday

රයිගමයයි ගම්පලයයි වගේ.
නූගත් දෙදෙනෙකුගේ / කපටි දෙදෙනෙකුගේ දැඩි මිතුරුකමක් ගැන කීමේ දී යෙදේ.

බල්ලාගේ වැඩය බූරුවා බාර ගත්තා වගෙයි.
තමාට අයත් නැති වැඩ කිරීමට ගොස් අමාරුවේ වැටේ.

පරංගියා කෝට්ටේ ගියා වගෙයි.
පහසු මගක් තිබිය දී අපහසු ලෙස කිරීම.

ඉබ්බා දියේ දැම්මා වගේ.
තමාගේ ආශාව පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලැබීම.

අටුව කඩා පුටුව හැදුවා වගෙයි.
වඩා ප්‍රයෝජනවත් දෙයක් විනාශකර ඊට අඩුවෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කිරීම.

ගඟට ඉනි කැපුවා වගෙයි.
මහන්සි වී කරන ලද වැඩවලින් අවසානයේ කිසි ම ප්‍රයෝජනයක් නොලැබීම.

ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි.
යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා ඒ දෙය හරි හැටි සිදු නොවීම.

පුහුල් හොරා කරෙන් දැනේ.
යමෙකුගේ හැසිරීමෙන් ඔහු වැරදිකරු ද, නිවැරදිකරු ද කියා දැනගත හැකිය.

කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි.
ළඟ දී යම්කිසි වස්තුවක් ලැබී ඉතා ආඩම්බර වීම.

කළුවා මාරපන ගියා වගෙයි.
කියන ලද දෙය තේරුම් නොගෙන කිසිවකුටත් ප්‍රයෝජනයක් නැති වැඩක් කිරීම.

Wednesday

සිංහල ප්‍රස්ථාව පිරුළු

නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවත් රැවුල පෑවා වගෙයි.
අහිංසකයන්ට සෑම කෙනෙකුගෙන්ම කරදර සිදුවන බව.

ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කළා වගෙයි.
යම් ගැටලුවක් විසඳීමට ඊට නුසුදුසු පිළියමක් කිරීම.

කබලෙන් ළිපට වැටුණා වගෙයි.
කරදර විඳිමින් සිටි කෙනෙකුට ඊටත් වඩා විශාල කරදරයක් සිදුවීම.

හතර බීරී කතාව වගෙයි.
යම් කිසි සිදුවීමක් ගැන ඊට අදාළ අය කරන ප්‍රකාශ එකිනෙකට සම්බන්ධ නැති වීම.

වංසෙ කබල් ගෑවා වගෙයි.
කිසිම හැකියාවක් නැති අයෙකු තමාගේ පරම්පරාවේ නම්බුව ගැන කතා කිරීම.

Thursday

රයිගමයයි ගම්පලයයි වගේ
එක වගේම කපටියන් දෙදෙනෙකු ගැන පැවසීමට යෙදේ.

බැද්දට පායපු හඳ වගෙයි.
වටිනා දෙයකින් කිසිවකු ප්‍රයෝජනයක් නොගැනීම.

කිරි කළයට ගොම මුසු කළා වගෙයි.
හොඳ වැඩ රාශියක් කර අවසානයේ නරක වැඩක් කිරීම.

ගුරුන්ටත් අකුරු වරදිනවා වගෙයි.
යමක් හොඳින් දන්නා අය අතිනුත් වැරදි සිදුවන බව.

මිටි තැනින් වතුර බහිනවා වගෙයි.
කිසියම් වරදක් සිදුවූ විට එය අහිංසකයන් පිට පැවරීම.

වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටුණා වගෙයි.
යහපත් වැඩක් කරන්නට ගොස් එයින් තමාට නොසිතූ කරදරයක් සිදුවීම.

එළිපත්ත උඩ සිටින බළලා වගෙයි.
ස්ථිර තීරණයක් නොගෙන සිටීම.

ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කිවුවා වගෙයි.
යම් අයකු තමාගේ තරාතිරමට නොගැළපෙන ඉතා පහත් වැඩ කිරීම.

Tuesday

කළුවා මාරපන් ගියා වගෙයි.
කළ යුතු දේ වටහා නොගෙන ක්‍රියා කිරීම / නොදැන ක්‍රියා කිරීම.

ජාඩියට මූඩිය වගෙයි.
හරියමට ගැලපෙන බව / හොදින්ම ගැලපෙන බව.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි.
කරදරයක් වූ අයෙකුට ඒ පිටම තවත් කරදරයක් සිදුවීම.

හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගෙයි.
වැරදි වසන්කරන අයගෙන්ම වැරැද්දක් ගැන ඇසීම.

වක්කඩේ හකුරු හැංගුවා වගෙයි.
නිෂ්පල වැඩක යෙදීම / විනාශවන තැනක යමක් ආරක්ෂාවට තැබීම.

කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගෙයි.
යම් වස්තුවක් ලැබීමෙන් ඉතා ආඩම්බර වීම.

පිස්සිගෙ පලා මල්ල වගෙයි.
යමක් ඉතා අවුල් සහගත ලෙස තිබීම.

පනින රිළවුන්ට ඉණිමං තැබුවා වගෙයි.
වැරදි කරන අයට වැරදි කිරීමට පහසුවන අයුරින් කටයුතු කිරීම.

ගොනයි මීමයි වගේ.
යම් දේවල් දෙකක් හෝ දෙදෙනෙක් කිසිසේත්ම නොගැළපෙන බව.

අශ්වයාං අං ආවා වගෙයි.
ආඩම්බර අයට තවත් ආඩම්බරවීමට කරුණු යෙදීම.

Monday

කොකාට වාරයක් ආවම තිත්තයාටත් වාරයක් එනවාලු
සමාජයේ ප්‍රබල පුද්ගලයින්ට වගේම දුර්වල අයටත් අවස්ථාවක් උදාවන බව

ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන්නා සේ
යම් පුද්ගලයකු ළඟ යමක් නැතිබව දැන දැනම එය ඉල්ලා සිටීම

පල නොකියා පලා බෙදන්නා සේ
යම් පුද්ගලයකු යම් ස්ථානයකින් ඉවත් නොකර ඉවත් වීමට සිදුවන සේ ක්‍රියා කිරීම

කපන්න බැරි අත සිඹින්නා සේ
යමෙකුගෙන් පළි ගැනීමට හෝ තමාට යමක් කර ගැනීමට නොහැකි වූ තැන බොරුවට හිතවත් කම් පෙන්වීම

දියේ ඇඳි ඉරක් සේ
නිෂ්ඵල කාර්යයක් කිරීම./ ස්ථිර නැති බව.

පනින්ට පෙර සිතා බලනු
යමක් කිරීමට පෙර ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.

ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැරිලු
යමෙකු අතින් වරදක් සිදු වූ පසු නැවත එය නිවැරදි කිරීමට නොහැකි වීම

පිස්සිගේ පලා මල්ල වගේ
යමෙකුගේ වැඩවල කිසිම පිළිවෙළක් නොමැති වීම

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා
නායකයෙක් නැති වූ විට නායකත්වයට නුසුදුසු පුද්ගලයෙකු නායකයකු බවට පත් වීම

කල දුටු කල වල ඉහගන්නා සේ
අවස්ථාවල් ලද විට ඉන් උපරිම ලෙස ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීම

නිතර දකින කුකුළාගේ කරමලේ සුදු පාටලු
ඕනෑම දෙයක් නිතර නිතර දකින විට එහි අගය අඩුවන බව

අතීසාරයට අමුඩ ගහන්නා සේ
යම් ගැටලුවකදී කළ යුතු දේ වෙනුවට වෙනත් නිෂ්ඵල දේ කිරීම

Tuesday

ගහපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ 
යම්කිසි කාර්යයක් කිසිදු ප්‍රතිඵලයක් නොලබා පාඩු සිදු වීම.

තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන පොල් කීර ලොකුයිලු
තමන්ගේ වැරදි සඟවාගෙන අනුන්ගේ වැරදි කතා කිරීම.

පිදුරු ගොඩේ ඉදිකටුව නැති වුණා වගේ
යමක් නැති වී සොයා ගැනීමට අපහසු වීම.

පෙරළෙන ගලේ පාසි නොබැඳේ 
නිතර කාර්යයන් හි යෙදී සිටින පුද්ගලයාගේ දැනුම මුවහත් වේ.

වී පැදුරට කුකුළා එන්නා සේ
යම් පුද්ගලයෙකු නිතර නිතර තැනකට පැමිණීම.

රත්තරන් ඉදිකට්ට වුණත් ඇහේ ඇනුණොත් කණ වෙනවාලු
ඉතා වටිනා දෙයක් වුවත් එය අනතුරුදායක නම් ප්‍රවේසම් විය යුතුය.

ගමේ යකා, පිට යකාට වඩා හොඳලු
තමන් හොඳින් හදුනනට පුද්ගලයින් අහම්බෙන් මුණගැසෙන දුර බැහැර පුද්ගලයන්ට වඩා හොඳය.

තල් අත්තට බොරලු ගසන්නා වගේ
කෙනෙකුගේ කතාව අන් අයට විශාල කන්දොස්කිරියාවක් වීම.

පුස්ස බින්දා වගේ
බලාපොරොත්තු සුන් වී  යාම.

පාලු ගෙයි වළං බිඳින්නා වගේ
අවශ්‍ය පුද්ගලයා නැති වටකදී ගර්ජනය කර කෑ කෝ ගැසීම හෝ බියගුළු දෙයක් කිරීම.

Sunday

වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ
උදව්වක් කිරීමට ගොසින් වෙනත් කරදරයක පැටලීම.

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ
එක් කරදරයකින් මිදීමට සිතා කරන දෙයින් ඊට වඩා කරදරයක වැටීම.

ගොරවන තරමට වහින්නේ නැතිලු
කතාව තරමට ක්‍රියාව නොමැති වීම.

පරංගියා කෝට්ටේ ගියා වගේ
ඉතා පහසු කෙටි මාර්ග තිබියදී අපහසු දුර මාර්ගවලින් ගමන් කිරීම.

ගල හොඳනම් අඹරන කහ මක්වේද?
යම් ක්‍රියාවක මූලික දේ හොඳනම් ලැබෙන ප්‍රතිලාභයද යහපත්ය.

වක්කඩේ හකුරු හැංගුවා වගේ
යම් දෙයක් ආරක්ෂා කර ගැනීම සඳහා එයට නුසුදුසු ස්ථානයක තැබීම.

නටන්න බැරි මිනිහාට පොළව ඇදලු
යමක් තමන්ට කළ නොහැකි වූ විට ඒ බව සඟවන්නට වෙනත් දෙයක ඇති වරදක් පෙන්වා දීම.

බුරන බල්ලා සපා නොකයි
කෑකෝ ගසන තරමට ක්‍රියාකාරී නැත.

ගඟට ඉනි කැපුවා වගේ
කරන ලද ක්‍රියාවෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැතිවීම.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වැසීම
ආරක්ෂා කළ යුතු වටිනා දේ නැති වුනාට පසු ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම.

Saturday

අකලට පල ගත් ගෙඩිය වගේ
යමක් නොකල්හි හෝ දුර්ලභ අවස්ථාවක හෝ යමක් සිදුවීම.

අග පැලිච්ච බටලීය වගේ 
අග පැලුණු බටලීයෙන් නැගෙන්නේ අමිහිරි හඞකි. ඕනෑවට වඩා කියවන්නෙකු හෝ වාචාලකම ඇත්තෙකු හෝ පිළිබඳ පැවසීමට යෙදේ.

අඟේ ඉදන් කන කනවා වගේ 
මුලින් ආ දෙයට වඩා පසුව ආ දෙය අගේ කොට දැක්වීම ගැන කියවේ.

අටුව කඩලා පුටුව හැදුවා වගේ
සුළු ලාභයක් වෙනුවෙන් විශාල පාඩුවක් කර ගැනීම.

අට්ටික්කා ගහේ මල් පිපුණා වගේ
සිදුවිය නොහැකි දෙයක් ගැන කියවේ.

Tuesday

ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ.
යම් දෙයකට සම්බන්ධ වී ඇති සියලු ම අය කපටි ලෝභ අය නිසා කරන දෙය නිසියාකාරව සිදු නොවීම.

අළු ගොඩට පිම්බා වගේ.
අනවශ්‍ය කරදර අවුස්සාලන අනුවණ ක්‍රියාවන් කිරීමේ දී යෙදෙයි.

අබ කෑ මිනිහගේ නහය දනවලු.
වරදක් කළ අයෙක් හැසිරෙන ආකාරයෙන් ඔහු වරදක් කල බව පෙනෙන විට කියවේ.

අඬන්න ඕනලු කිරි එරෙන්න.
යමක් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.

අබරා සිල් ගත්තා වගේ.
තමන්ට කළ නොහැකි දෙයක් කිරීමට ගොස් අමාරුවේ වැටුණු කෙනෙකු ගැන කීමේ දී යෙදේ.

Sunday

ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු වල ඇති විශේෂත්වය වන්නේ යම් දෙයක් ඍජුව නොකියා වක්‍රාකාරයෙන් පැවසීමට ඇති හැකියාවයි. එදා ගැමි ජනතාව යමක් නිවැරදිව, වඩා පැහැදිලිව පැවසීමට සහ තවත් අයෙකුට ඒත්තු ගැන්වීමට මේවා යොදා ගන්නා ලදි. ප්‍රස්තාව පිරුළු දහස් ගණනකින් අපේ ගැමි බස හොදින් පෝෂණය වී තිබුණි. නමුත් අද සමාජයේ මේවා භාවිතයට ගැනෙන්නේ ඉතා අල්ප වශයෙනි. බොහෝ දෙනා ප්‍රස්තාව පිරුළුත් එයින් කියවෙන අර්ථයවත් නොදන්නේය. සිංහල භාෂාවේ පවතින ප්‍රස්තාව පිරුළු විශාල ප්‍රමාණයක් සහ ඒවායේ අර්ථ මෙහි ඇතුලත් කොට ඇත. මෙහි නොමැති ඔබ දන්නා ප්‍රස්තාව පිරුළු ඇත්නම් අප සමග බෙදාගන්න.